ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල් තම ජාතික අයවැය හරහා දුම්වැටි මත පනවා ඇති බදු සහ සිල්ලර මිල ගණන් ක්‍රමානුකූලව ඉහළ දමමින් පවතිද්දී, ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් බදු ප්‍රතිපත්තියකි. 2026-27 මූල්‍ය වර්ෂය සඳහා බංග්ලාදේශය විසින් සියළුම සිගරට් වර්ගවල මිල ඉහළ දැමීමට සහ නව නිකොටින් නිෂ්පාදන සඳහා දැඩි බදු පැනවීමට යෝජනා කර ඇති පසුබිමක, ශ්‍රී ලංකාව එම ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් පවතී.
ශ්‍රී ලංකාව 2003 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතිය අනුමත කළ පළමු ආසියානු රට වුවද, වර්තමාන බදු ප්‍රතිපත්තිය එම කැපවීම්වලට පටහැනිව ගමන් කරයි. සිගරට් සඳහා වන සුරාබදු ස්වයංක්‍රීයව උද්ධමනයට අනුකූලව ඉහළ නොයෑම සහ රජය විසින් ඒවා කාලානුරූපව සංශෝධනය නොකිරීම හේතුවෙන් සිගරට් මිල ඉහළ යන සෑම විටකම රජයට ලැබෙන බදු ප්‍රතිශතය පහත වැටේ. මෙම “නිහඬ සහනය” හරහා දුම්කොළ සමාගම් සිය ලාභය උපරිම කර ගන්නා අතර, එහි බර පාරිභෝගිකයා සහ සමස්ත රටම දරයි.
මෙහි ඇති බරපතලම කාරණය වන්නේ, ශ්‍රී ලංකාව තුළ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත බදු පටවා රජයේ ආදායම් ඉහළ නැංවීමට උත්සාහ දරද්දී, සිගරට් සඳහා එම බදු බර නොපැටවීමයි. 2026 වසර වන විට සිගරට් සිල්ලර මිලෙහි බදු ප්‍රතිශතය 66.8% දක්වා පහත වැටී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75%ක නිර්දේශිත ඉලක්කය සපුරා ගැනීමට අපොහොසත් වීමෙන් වසරකට රුපියල් කෝටි 1,730ක අතිරේක ආදායමක් රටට අහිමි වේ. ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල් මහජන සෞඛ්‍යය සහ රාජ්‍ය ආදායම මුල් කරගනිමින් දුම්කොළ බදු ප්‍රතිපත්ති ශක්තිමත් කරන අතරතුර, ශ්‍රී ලංකාව තවදුරටත් දුම්කොළ සමාගම්වලට වාසිදායක මාවතක ගමන් කිරීම ආර්ථිකමය සහ සෞඛ්‍යමය වශයෙන් බරපතල පසුබෑමකි.
















