ශ්‍රී ලංකා රජය සහ තුර්කි රජය අතර පවතින ගුවන් සේවා ගිවිසුමේ ගාස්තු රාමුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම සඳහා එහි 11 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දෙරට අතර පවත්නා ගුවන් සේවා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම සංශෝධනය සිදු කෙරේ. මෙයට අදාළ සාකච්ඡා සටහනට දෙපාර්ශ්වය විසින් 2016 දෙසැම්බර් 07 වන දින අත්සන් තබා ඇති අතර, යෝජිත සංශෝධිත කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද මේ වන විට ලැබී ඇත.
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර මුල්ම ගුවන් සේවා ගිවිසුම 2008 දෙසැම්බර් 02 වන දින අත්සන් කරන ලදී. පවතින ගිවිසුමේ ගාස්තු වගන්තිය සංශෝධනය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.
















