ශ්‍රී ලංකාව මේ වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනක් යටතේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ දැඩි උත්සාහයක නිරතව සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලික ආදායම් බදු, සංස්ථාපිත බදු සහ වැට් බදු ඇතුළු පාරිභෝගික භාණ්ඩ සියල්ලකම පාහේ බදු ඉහළ දමා ඇත. එහෙත්, මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ අතරතුර නිහඬවම බදු අඩු කර ඇති එකම නිෂ්පාදනය දුම්වැටි බව හෙළි වී තිබේ.
2021 සහ 2026 අතර කාලය තුළ දුම්වැටි පැකට්ටුවක අඩංගු බදු ප්‍රතිශතය 7.2%කින් පහත වැටී ඇති අතර, මෙය හේතුවෙන් වාර්ෂිකව රජයට අහිමි වන ආදායම රුපියල් කෝටි 1,730කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව දුම්වැටි මිලෙහි 75%ක් බදු වශයෙන් අය විය යුතු වුවද, 2018 වසරේ 74%ක්ව පැවති ශ්‍රී ලංකාවේ මෙම අගය 2026 වන විට 66.8% දක්වා පහළ ගොස් ඇත.
දුම්වැටි සමාගම් විසින් තම නිෂ්පාදනවල මිල ඉහළ දමන සෑම අවස්ථාවකම, රජය විසින් නිෂ්පාදන බද්ද (Excise Tax) ඒ හා සමානව ඉහළ නොදැමීම මෙම බදු අනුපාතය පහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ. සමාගම් සිය ලාභය වැඩි කර ගැනීම සඳහා මිල ඉහළ දැමුවද, රජයේ බදු ආදායම ඒ අනුපාතයට වර්ධනය වී නොමැත. මහජනතාවගේ එදිනෙදා ජීවන වියදම ඉහළ නංවමින් බදු එකතු කරන අතරතුර, දුම්වැටි සම්බන්ධයෙන් මෙවැනි බදු සහනයක් ලබා දීම සාධාරණ ද යන ගැටලුව මේ වන විට දැඩි කතාබහකට ලක්ව ඇත. කිසිදු නව නීතියකින් තොරව වුවද, මෙම බදු ප්‍රමාණය නිවැරදි කිරීමෙන් පමණක් රාජ්‍ය භාණ්ඩාගාරයට මෙම අහිමි වන රුපියල් කෝටි 1,730ක ආදායම නැවත ලබාගත හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
















