ආසියා ශාන්තිකර සහයෝගිතා ගුවන් සේවා ආරක්ෂක වැඩසටහනේ (CASP – AP) 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම සහ 14 වන ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් සේවා ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය (RASCF) සඳහා සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට ආරාධනා ලැබී තිබේ.
මෙම සමුළු දෙක ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ආසියා සහ ශාන්තිකර කලාපයේ ප්‍රධාන තීරණ ගැනීමේ වේදිකා වන අතර, 2026-2027 කාල පරිච්ඡේදය සඳහා එම මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරය ශ්‍රී ලංකාව විසින් භාර ගැනීමට නියමිතය.
සමුළු දෙක සඳහා සාමාජික රටවල් 41ක නියෝජිතයින්, ජාත්‍යන්තර සංවිධාන සහ නිරීක්ෂකයින් ඇතුළු 80ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතයි. ආසියා ශාන්තිකර සහයෝගිතා ගුවන් සේවා ආරක්ෂක වැඩසටහනේ 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම 2026 ජුනි 23 සහ 24 දිනවලදීත්, 14 වන ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් සේවා ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය 2026 ජුනි 25 සහ 26 දිනවලදීත් මෙරටදී පැවැත්වීමට නියමිතය.
නැගී එන ගුවන් සේවා තර්ජන, ICAO ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සහ කලාපීය සම්බන්ධීකරණය වැනි කරුණු මෙහිදී සාකච්ඡා කෙරේ. මෙම සමුළු මෙරටදී පැවැත්වීම සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
















