මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 840,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. ජනවාරි 01 වනදා සිට අප්‍රේල් 22 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 840,411 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 176,465 කි.
ඉන්දියාවට අමතරව එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් ද සැළකිය යුතු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. අප්‍රේල් 01 සිට 22 දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 99,777 දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, පෙර මාසවලට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.














