ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන සහ සංස්කෘතික උරුමයන් කැනේඩියානු සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘එක දූපතක් – කතා දහසක්’ (Sri Lanka – One Island, A Thousand Stories) නමින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී සාර්ථකව පවත්වා තිබේ.
ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, TripToGo ටුවර් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා කැනඩාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (influencers) ඇතුළු CBC සහ Travelweek වැනි මාධ්‍ය ආයතනවල නියෝජිතයන් 30 දෙනකු සහභාගි වූහ.
මෙම වැඩසටහනේදී ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මේධාවී පීරිස් මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා කැනඩාව අතිශය වැදගත් වෙළෙඳපොළක් බවයි. රටේ ස්වාභාවික සුන්දරත්වය සහ පොහොසත් උරුමය ලොවට ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍ය සහ අන්තර්ගත නිර්මාණකරුවන් සතු වගකීම සහ සුවිශේෂී කාර්යභාරය ඇය විශේෂයෙන් අවධාරණය කළාය.
TripToGo සමාගමේ උප සභාපති බ්‍රයන් ටැන් මහතා සිය ශ්‍රී ලංකා සංචාරයේ අත්දැකීම් බෙදාගනිමින් ප්‍රකාශ කළේ, භූගෝලීය වශයෙන් කුඩා දූපතක් වුවද, අතිවිශාල පරාසයක විහිදුණු සංචාරක අත්දැකීම් රැසක් විඳගැනීමට ශ්‍රී ලංකාව තුළ අවස්ථාව පවතින බවයි. කොන්සල් (වාණිජ) යසෝජි ගුණවර්ධන, නාලිකා අබේසූරිය සහ ප්‍රවීණි පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංචාරක ගමනාන්ත පිළිබඳව අතිශය ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් සිදු කරනු ලැබීය.
මෙම වැඩසටහනේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ තිරසර සංචාරක ව්‍යාපාරය දිරිමත් කිරීමයි. ඒ අනුව, TripToGo ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා කරනු ලබන සෑම සංචාරක වෙන්කිරීමකින්ම ඇමරිකානු ඩොලර් 10ක් මෙරට අඩු වරප්‍රසාද ලබන දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් ‘Classroom of Hope’ ව්‍යාපෘතිය හරහා පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
















