සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනයෙන් ඉවත් කර, තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් යටතට පත් කිරීමට යෝජනා වී ඇති නව පියවරට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති සහ බහු-බහුජන සංවිධාන එක්ව දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
අද (02) පස්වරු 5.00ට ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සංවිධානය කරමින් වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ, අදාළ තිදෙනෙකුගෙන් යුත් නව කමිටුවට පෞද්ගලික අංශයේ හිමිකරුවන්ගේ (Employers) නියෝජිතයෙකු ද ඇතුළත් කිරීමට යෝජනා වී ඇති බවයි. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශාලතම මූල්‍ය වත්කම වන මෙම අරමුදල් පාලනයට සේව්‍ය නියෝජිතයන් සම්බන්ධ කිරීම මගින් අරමුදල්වල සුරක්ෂිතතාවයට දැවැන්ත තර්ජනයක් මතුවන බව ඔවුහු පවසති. 2011 වසරේදී ද එවකට පැවැති රජය අලාභලබන පෞද්ගලික සමාගම් වෙනුවෙන් සේවක අරමුදල් යොදවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ සිදුවූ විරෝධතාවයේදී රොෂේන් චානක සිසුවා මියගිය අතර, සිය ගණනක් ආබාධිත වූ බව මතක් කරදෙන වෘත්තීය සමිති, සේවකයන්ගේ මූල්‍ය ආරක්ෂාව තහවුරු වන පරිදි පමණක් තීරණ ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.













