ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදේශ ණය පියවීම සඳහා වෙන් කළ අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් අදාළ පාර්ශ්ව වෙත නොලැබී අතරමගදී අතුරුදන්ව ඇති බවට මහත් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් මේ වන විට කරළියට පැමිණ තිබෙනවා. මහා භාණ්ඩාගාරය විසින් නිල වශයෙන් ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් කිසියම් තෙවන පාර්ශ්වයක හෝ සූක්ෂ්ම පරිගණක හැකර්වරයෙකුගේ ග්‍රහණයට නතු වී ඇති බවට ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය බරපතළ චෝදනාවක් එල්ල කරන අතර මෙම සිදුවීම පිටුපස ඇති සැඟවුණු අබිරහස වහා හෙළිදරව් කළ යුතු බවට එම සංවිධානය අවධාරණය කරනවා.
මෙම අතිවිශාල මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් කරුණු දක්වන එම සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ මෑතකදී සම්මත වූ නව මුදල් පනතත් සමඟ විදේශ ණය කළමනාකරණය කිරීමේ වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරීමෙන් අනතුරුව මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි. අදාළ මුදල් ගෙවීමේ ලේඛන සකස් කළ සහ ඒ පිළිබඳ වගකීම දරන අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේම මේ වන විටත් මෙහි විමර්ශන කටයුතු සිදු කිරීම තුළින් අපක්ෂපාතී තීන්දුවක් බලාපොරොත්තු විය නොහැකි බවත්, මේ පිළිබඳව වහාම පාර්ලිමේන්තුව මැදිහත් වී ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් සඳහන් කරමින් ඔහු කතානායකවරයා වෙත විශේෂ ලිපියක් ද යොමු කර තිබෙනවා.
මේ අතර ‘දිනන දකුණ’ සාමූහිකය වෙනුවෙන් නීතිඥ ශිරාල් ලක්තිලක මහතාද නිවේදනයක් නිකුත් කරමින් මෙම ඩොලර් මිලියන 2.5ක ගනුදෙනුව පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එවැනි ලිපියක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි. මහජන මුදලින් විදේශ ණය ගෙවන බව පවසමින් සිදුවන මෙවැනි සූක්ෂ්ම මූල්‍ය මංකොල්ලයන් පිළිබඳ නිසි විමර්ශනයක් සිදු නොවන්නේ නම් එය මෙරට ආර්ථිකයට මාරක පහරක් වනවා නොඅනුමානයි.












