මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් වංචා කළ සිද්ධිය සහ රාජගිරියේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 120 දෙනා අතර සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. වැලිකඩ පොලිසිය අද (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දක්වමින් මේ බව අනාවරණය කළේය.
රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් අන්තර්ජාල මුදල් වංචාවල නිරත වූ බවට සැකපිට මෙම පිරිස අත්අඩංගුවට ගැනුණේ පසුගිය 2 වනදාය. වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළේ රටවල් පහකට අධික විදේශිකයන් පිරිසක් යොදවාගෙන මෙම ජාලගත වංචාවන් මෙහෙයවා ඇති බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමින් යුත් මුදල් සහ පරිගණක උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබුණි. මෙම සැකකරුවන් මෑතකදී සිදු වූ මහා භාණ්ඩාගාර මූල්‍ය වංචාවට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ දැයි හෙළි කරගැනීම සඳහා විමර්ශන පවත්වන බැවින්, ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම අධිකරණය පිළිගත්තේය.














