ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා අනුව පසුගිය වසරේ සමස්ත රැකියා විරහිතභාවයේ ප්‍රතිශතය සියයට 3.9ක් ලෙස වාර්තා වී තිබේ. මිලියන 17කට අධික වැඩකරන වයසේ ජනගහනයක් මෙරට සිටියද, එයින් මිලියන 8.6ක් පමණ ආර්ථික වශයෙන් කිසිදු සක්‍රීය දායකත්වයක් නොදක්වන බවත්, ජාතික ශ්‍රම බලකා සහභාගීත්ව ප්‍රතිශතය සියයට 49.4ක් ලෙස පවතින බවත් අදාළ වාර්තා මඟින් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ ජනතාවගේ දෛනික ජීවිතයට සෘජු බලපෑමක් එල්ල කරන අතර, පවතින රැකියා වෙළඳපොළ තුළ ඇතැම් ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය ද ඉතා සීමිත මට්ටමක පවතී. ශ්‍රම බලකායෙන් සියයට 60.5ක් පමණක් සම්මත සේවකයන් ලෙස කටයුතු කරන අතර, ඉතිරි සැලකිය යුතු පිරිසක් අනියම් සේවකයන්, ස්වයං රැකියාවල නියුතු වූවන් හෝ වැටුප් නොලබන පවුල්වල ශ්‍රමිකයන් ලෙස අන්තරායකාරී සහ අවිනිශ්චිත තත්ත්වයන් යටතේ ජීවිත ගැටගසා ගැනීමට උත්සාහ කරමින් සිටිති.
මෙම අර්බුදාකාරී පසුබිම හමුවේ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙතරම් දුරට තීරණාත්මක ද යන්න පැහැදිලි වන අතර, ශ්‍රම බලකායේ අඛණ්ඩ බිඳවැටීම වැළැක්වීමට සහ විධිමත් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට බලධාරීන් කඩිනමින් ක්‍රියා කළ යුතුය. එසේ නොමැති වුවහොත්, රටේ නිෂ්පාදන ශක්තිය සහ සමාජ සුරක්ෂිතතාව තවදුරටත් අඩාල වීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්‌ලේෂකයෝ පෙන්වා දෙති.














