ශ්‍රී ලංකාවේ නව එක්සත් ජනපද තානාපතිවරයා ලෙස පත්වූ එරික් මේයර් මහතා සහ කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් පසු රටේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සමත්ව ඇති බව අනිල් ජයන්ත මහතා මෙහිදී ප්‍රකාශ කර ඇති අතර, එම ආර්ථිකය පරිවර්තනීය තත්ත්වයක් වෙත ගෙන යාමේදී විදෙස් ආයෝජන සහ වෙළඳාමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට එක්සත් ජනපද තානාපතිවරයා එකඟ වී ඇති අතර, රජයේ මූල්‍ය විනය පිළිබඳවත් ආර්ථිකය ස්ථාවර කිරීමට හා ආයෝජන කැඳවා ගැනීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරික් මේයර් මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ.













