කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) සවස 04.00 ට නිකුත් කරන ලද නවතම නිවේදනයකට අනුව, ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම නිවේදනයට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40-50 අතර වේගයකින් තද සුළං ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවලදී පැයට කිලෝමීටර් 30-40ත් අතර වේගයකින් තරමක තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















