ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් එළඹෙන මැයි 11 වනදා පමණ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (09) දින ලබාගත් දත්තවලට අනුව මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව පිළිබඳව ද එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.
අනාවැකිවලට අනුව, මෙම පද්ධතිය ඉදිරි දින තුන තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් නොමැති වුවද, හයවන දිනයේදී එම සම්භාවිතාව සාමාන්‍ය අගයක් ගන්නා අතර හත්වන දිනය වන විට එය ඉහළ අගයක් දක්වා වර්ධනය විය හැක. මේ හේතුවෙන් දැනට දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අඛණ්ඩව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. පවතින තත්ත්වය මත අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත් මහජනතාවට දැනුම් දී තිබේ.














