වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව, 2026 වසරේ මුල් මාස හත තුළ සෘජු මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වටිනා වන අලි 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම් අතරින් අලි ඇතුන් 30 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, නීති විරෝධී විදුලි වැටවල් සහ විදුලි රැහැන්වල පැටලීමෙන් අලි 23 දෙනෙකු මියගොස් ඇත. ‘හක්ක පටස්’ (jaw bombs) අනුභව කිරීම හේතුවෙන් අලි 19 දෙනෙකු සහ වස දීමෙන් අලි තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මීට අමතරව දුම්රිය ගැටීම්වලින් දෙදෙනෙකු, මාර්ග අනතුරුවලින් සිව්දෙනෙකු, ගොවිපොළ ළිංවලට වැටීමෙන් හයදෙනෙකු සහ වෙනත් අනතුරුවලින් තිදෙනෙකු ලෙස මෙම මරණ වාර්තා වේ.
සමස්තයක් ලෙස වසරේ මුල් මාස හත තුළ මිනිස් ක්‍රියාකාරකම්, අනතුරු සහ ස්වාභාවික හේතුන් මත වන අලි මරණ 180ක් වාර්තා වී ඇත. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් නැගෙනහිර වනජීවී කලාපයෙන් (44) වාර්තා වන අතර, අනුරාධපුර සහ පොළොන්නරුව වනජීවී කලාපවලින් ද සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මේ අතර, එම කාලසීමාව තුළ වන අලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















