පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානවල සිටින සතුන් සඳහා බවුසර් මඟින් ජලය ලබා දීමේ වැඩපිළිවෙළක් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. යාල, විල්පත්තුව, කුමන සහ බුන්දල යන ජාතික වනෝද්‍යානවල ජලය එක්රැස් වන ස්ථාන සිඳී යාම නිසා මෙම පියවර ගෙන ඇති බව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුව ජාතික වනෝද්‍යානවල සතුන්ට අවශ්‍ය ජලය සම්පාදනය කිරීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. මේ වන විට ප්‍රධාන ජාතික වනෝද්‍යානවල සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප පද්ධති සහ නළ පද්ධති පවත්වාගෙන යනු ලබන අතර, එම නළ පද්ධති ආවරණය නොවන ප්‍රදේශ සඳහා බවුසර් මඟින් ජලය සැපයීම සිදු කෙරේ. කාලගුණ තත්ත්වයේ වෙනස්වීම් මත අවශ්‍ය පරිදි ජලය සැපයීම වැඩි කිරීමට හෝ අඩු කිරීමට හැකියාව පවතින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














