ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවන 2026 පන්දුවාර විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය (ICC Women’s T20 World Cup) සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මව්බිමෙන් පිටත්ව යාමට නියමිතව තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ජූනි 12 වනදා සිට සත්කාරක එංගලන්තයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් ආරම්භ වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙන්නේ මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ දැක්වූ ඉහළ දක්ෂතා සමඟින් දැඩි විශ්වාසයකින් යුතුවයි.
මෙවර තරගාවලියේ සමාරම්භක මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු නිල තරගය එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත. ජූනි 12 වනදා බර්මින්හැම් (Birmingham) නුවරදී පැවැත්වෙන මෙම තරගයෙන් සමස්ත ලෝක කුසලාන තරගාවලියේ ආරම්භය සලකුණු කෙරෙන අතර ශක්තිමත් එංගලන්ත කණ්ඩායමට ඔවුන්ගේම රටේදී ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ වන විටත් සර්වප්‍රකාරයෙන්ම සූදානම්ව පසුවෙති.
ලෝක කුසලාන තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩිකාවන් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්විය. එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි නායිකා චමරි අතපත්තු මහත්මිය ප්‍රකාශ කළේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් ඉතා හොඳ මානසික සහ ශාරීරික සූදානමකින් පසුවන බවත්, එංගලන්තයේ පවතින කාලගුණික සහ තණතීරු තත්ත්වයන්ට කඩිනමින් හැඩගැසී මව්බිමට කීර්තියක් අත්කර දීම තම එකම අරමුණ බවත්ය.
















