අබිරහස් ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය සිව්වන දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ, මියගිය කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේ තිබී ඔහුගේ මුදල් පසුම්බි දෙකක් සොයාගත් බවයි.
මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියෙන් ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් පොලිසිය සඳහන් කළේ අදාළ දුරකථනය විවෘත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගැනීමට එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කර ඇති බවයි. විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීමට ජංගම දුරකථනය විවෘත කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බැවින්, ඒ පිළිබඳ විමර්ශන කඩිනමින් සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට නියෝග කළේය.














