අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා පසුගිය මැයි 01 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවා තිබේ.
මෙම ගෞරවනීය වැඩසටහන සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු දූත පිරිසක් සහ මහා සංඝරත්නය වැඩම කර සිටියහ. තවද, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ කොන්සියුලර් ජනරාල් ලංකා පන්නිල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
ගුවන් තොටුපළේ සිට අති උත්කර්ෂවත් රථ පෙරහැරකින් මෙම පූජනීය වස්තූන් ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවන ලදී. ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සහ වියට්නාම් ජාතික බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මහජන වන්දනාමාන කටයුතු සඳහා මැයි මස 02 වනදා සිට ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ.














