ලෝකයේ රටවල් රැසක පර්යේෂකයන් 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් හොංකොං හිදී සාර්ථකව නිමාවට පත් වූ 12 වන ලෝක තිරසර සම්මන්ත්‍රණයේදී, වසරේ හොඳම පර්යේෂණ නිබන්ධනයට හිමි කීර්තිමත් සම්මානය දිනාගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පර්යේෂිකාවක වන වින්දුලා ගම්මන්පිළ මෙනෙවිය සමත්වූවාය. ජාත්‍යන්තර මට්ටමින් මෙරට නාමය ඉහළ නංවමින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙතපැමිණි ඇයව උණුසුම් අයුරින් පිළිගැනීමට පියවර ගෙන තිබූ අතර, ඇය විසින් අත්කර ගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකීය පර්යේෂණ ක්ෂේත්‍රයේ බුද්ධිමය හැකියාවන් ජාත්‍යන්තර තලයේදී යළිත් වරක් තහවුරු වී ඇත.
මෙම කීර්තිමත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හමුවේ ඇය විසින් “විදුලි ක්ෂේත්‍රයට හරිත බලශක්ති ක්‍රමවේදය යටතේ සිදු කෙරෙන නව පිවිසුම් තිරසාර ලෙස ඇගැයීමට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුවක්” යන අතිශය කාලීන සහ සංකීර්ණ තේමාව ඔස්සේ සිය පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කර තිබුණි. ගෝලීය වශයෙන් බලශක්ති අර්බුද සහ පාරිසරික අභියස උත්සන්න වී ඇති වත්මන් සන්දර්භය තුළ, ඇයගේ මෙම පර්යේෂණ නිබන්ධනය හරහා ඉදිරිපත් කර ඇති හරිත බලශක්ති ප්‍රතිපත්ති රාමුව ජාත්‍යන්තර විද්වතුන්ගේ දැඩි පැසසුමට හා අවධානයට ලක්ව ඇති අතර, එය ලෝක තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික විසඳුමක් ලෙසද විද්‍යාඥයින් විසින් හඳුන්වා දී ඇත.
විශේෂත්වය වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක ලෙස කටයුතු කරන අතරතුරම, නීති උපාධියක්ද සපුරා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ නීතිඥවරියක ලෙසද වෘත්තීය මට්ටමින් සේවය කරන බහුවිධ කුසලතාවලින් හෙබි තරුණියක වීමයි. ඉදිරියේදී ඇයගේ මෙම හරිත බලශක්ති පර්යේෂණ දායකත්වය ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මෙන්ම මෙරට අනාගත නූතනත්වයට සහ තිරසර සංවර්ධන වැඩපිළිවෙළට කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව දැන් විද්වතුන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.














