ශ්‍රී ලංකාවේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින්, මෙරටට ආවේණික නව වැලි මැසි විශේෂයක් (Sergentomyia nayanasis sp. nov.) සහ ශ්‍රී ලංකාවෙන් මීට පෙර වාර්තා නොවූ වැලි මැසි ගණයක් (Idiophlebotomus) ප්‍රථම වරට හඳුනාගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදුකළ මෙම සුවිශේෂී සොයාගැනීම මඟින් මෙරට වැලි මැසි විවිධත්වය පිළිබඳ අලුත්ම තොරතුරු අනාවරණය වී ඇති බව ‘පරිසර සමාගම; ෆේස්බුක් පිටුව වාර්තා කරයි.
පර්යේෂණයේ ප්‍රධාන සොයාගැනීම්:
නව විශේෂය: අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හමුවූ Sergentomyia nayanasis sp. nov. විශේෂය, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නයණ ගුණතිලක මහතාට ගෞරවයක් ලෙස නම් කර ඇත.
නව ගණය: ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට Idiophlebotomus ගණයට අයත් වැලි මැස්සන් බස්නාහිර සහ දකුණු පළාත්වලින් වාර්තා විය.
අණුක තහවුරු කිරීම: DNA barcoding (COI gene) තාක්ෂණය භාවිතයෙන් මෙම විශේෂයන්ගේ ස්වාධීනත්වය සහ වර්ගීකරණ තත්ත්වය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විද්‍යාත්මකව තහවුරු කර ඇත.
මහජන සෞඛ්‍යයට ඇති බලපෑම:
අනුරාධපුරය වැනි චර්ම ලීෂ්මේනියාසිස් රෝගය බහුල ප්‍රදේශවලින් මෙම නව විශේෂයන් හමුවීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි. සාම්ප්‍රදායිකව Sergentomyia ගණය උරඟයන්ගෙන් ලේ උරා බොන්නන් ලෙස සැලකුවද, ආසියානු රටවලින් ලැබෙන නවතම දත්ත පෙන්වා දෙන්නේ මේවා මිනිසුන්ට රෝග පරපෝෂිතයන් බෝ කරන ‘උප-වාහකයන්’ (bridge vectors) ලෙස ක්‍රියා කිරීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි බවයි.
මෙම පර්යේෂණය මගින් ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යාත්මක පාලන වැඩසටහන්වලට වැදගත් දත්ත රැසක් සපයා ඇති අතර, ඉදිරියේදී ලීෂ්මේනියාසිස් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම නව සොයාගැනීම් විශාල පිටුවහලක් වනු ඇත.
මෙම අධ්‍යයනය කැලණිය විශ්වවිද්‍යාලයීය පර්යේෂණ සභාවේ මූල්‍ය අනුග්‍රහය ඇතිව සිදුකර ඇති අතර, එය 2026 ජූනි මස “Asian Pacific Journal of Tropical Medicine” සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.
















