27 April 2024
#දේශීය

මෙරටින් ගිය ශ්‍රී ලාංකීකයින්ට යළි මව්රටට පැමිණ ගෞරවාන්විතව ජිවත් විය හැකියි – ඇමැති ඩග්ලස්

ආපසු මව්බිමට පැමිණීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට තම උපන් ස්ථානවල ගෞරවාන්විතව ජීවත්විය හැකි බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින් ආපසු ගෙන්වා ගැනීම සහ ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්න පිළිබඳව සිදුකෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී.කේ. වෙන්කඩේෂ්වරන් මහතා මාලිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යාංශයේ පසුගිය 26 වනදා හමුවු අවස්ථාවෙදිය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය හේතුවෙන් අවතැන් වී ඉන්දියාවේ රැඳී සිටින පිරිස් යළි මෙරටට ගෙන්වා ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ධීවර අමාත්‍යවරයා දැනුවත් කළේය.

ඉන්දියාවේ සිට කැඳවා ගෙන එනු ලබන ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ ගමන් පහසුකම් සැපයීමට සහ භාණ්ඩ පැටවීමට කටයුතු කරමින් සිටින බව පැවසූ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කැඳවා ගෙන එනු ලබන්නන්ගේ වියදම් සඳහා පළමු අදියරේදී සෑම පවුලකටම රුපියල් 30,000 බැගින් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ලබන වසරේ පවුල් 7000ක් පමණ ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

තවද, කැඳවා ගෙන එනු ලබන ශ්‍රී ලාංකිකයින්ට ඔවුන් උපන් ප්‍රදේශවල ජාත්‍යන්තර පෞද්ගලික සමාගම්වල සහභාගීත්වයෙන් නිවාස ඉදිකර දීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එම උත්සාහයන් ප්‍රශංසාවට ලක්කල අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේ, නැවත මෙරටට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ උපන් ස්ථානවල නැවත පදිංචි වී සාමාන්‍ය ජනජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ සහයෝගය තමන්ට ලැබෙන බවත් පැවසීය.

තවද, විවිධ හේතූන් මත ඉන්දියාවේ විශේෂ කඳවුරුවලත් බන්ධනාගාරවලත් රඳවා ගෙන සිටින රැඳවියන් පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පැවසූ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පසුගිය මාසයේ මුලතිව් ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී රඳවා තබා ගෙන සිටින කිහිප දෙනෙකුගේ ඥාතීන් තමන් හමුවී කතා කල බව පෙන්වා දුන් අතර, ඒ පිළිබඳව දැනටමත් ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවද අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පෙන්වා දෙන ලදි.

මේ අතර ඉන්දීය ධීවරයින්ගේ නීති විරෝධී දේශ සීමා ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් දැක්වූ ධීවර අමාත්‍යවරයා, නීති විරෝධී ධීවර කර්මාන්තයෙන් මුහුදු සම්පත් වලට සිදුවන විනාශය හා බලපෑම් පිළිබඳවත්ල ඒවා නැවැත්වීම සදහා ඉන්දීය ධීවරයන් විකල්ප ධීවර කර්මාන්ත ක්‍රම තෝරා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ඉන්දීය ධීවරයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ගැන සොයා බලන ලෙස නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වන ඩී. වෙන්කඩේෂ්වරන් මහතාහට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *