අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ රීති සංශෝධනය කරමින්, ඒ සඳහා පනවා තිබූ මාස තුනක සහන කාලය තවදුරටත් කෙටි කරමින් එළඹෙන මාසයේ 10 වන දින දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම නව රීති සඳහා අනුමැතිය හිමි විය. නව සංශෝධනයට අනුව අපනයන ඉපැයීම් ලැබුණු පසු මාසයේ 10 වන දින හෝ ඊට ප්‍රථම එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු වේ. මීට පෙර පැවති මාස 3ක කාලසීමාව වෙනුවට මෙම කෙටි කාලසීමාව හඳුන්වා දී ඇත්තේ අපනයනකරුවන්ට ලැබෙන ආදායම අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතා කිරීමට ඉඩ ලබා දෙමිනි.
විදේශ විනිමය වෙළඳපොලේ පවතින අස්ථාවරත්වය, ද්‍රවශීලතාවයේ හිඟය සහ විනිමය අනුපාතික පාලනය කිරීම සඳහා මෙම කෙටිකාලීන පියවර ගෙන ඇති බව මහ බැංකුව පවසයි. මෙම පියවර මගින් වෙළඳපොළ විශ්වාසය සහ විදේශ විනිමය වෙළඳපොලේ ස්ථාවරත්වය කෙරෙහි බලපෑම් සිදුවිය හැකි බව කාරක සභාව පෙන්වා දුන්නද, මහ බැංකුව අවධාරණය කරන්නේ වෙළඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ වහාම මෙම රීති නැවත ලිහිල් කරන බවයි.
















