මෙරට ඉන්ධන පරිභෝජනය පසුගිය ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ සියයට 80ත් 90ත් අතර අගයක පවත්වා ගැනීමට හැකිවුවද, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා වැයවන මුදල අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 186ක් වූ නමුත්, මැයි මාසය වන විට එම වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 521ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඔටෝ ඩීසල් පරිභෝජනය ජනවාරි මාසයේ කිලෝ ලීටර් 4,538ක් ලෙස පැවතියද මැයි මාසයේදී එය කිලෝ ලීටර් 3,701ක් දක්වා අඩුවී ඇති බවයි. සමස්ත ඩීසල් පරිභෝජනය ජනවාරි මාසයේ කිලෝ ලීටර් 5,944ක්ව පැවති අතර මැයි මාසයේදී එය කිලෝ ලීටර් 5,394ක් දක්වා පහත බැස ඇත. එසේම පෙට්‍රල් (92) පරිභෝජනය ජනවාරි මාසයේ කිලෝ ලීටර් 5,565ක්ව පැවති අතර මැයි මාසයේදී එය කිලෝ ලීටර් 4,849ක් දක්වා අඩුවී තිබේ.
ඉන්ධන පරිභෝජනය පාලනය කරගැනීමට සමත් වුවද, ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවර මිල ගණන් හමුවේ ඉන්ධන ආනයනය සඳහා දරන්නට සිදුවන පිරිවැය කළමනාකරණය කරගැනීම රජය හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීම්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල ගැලපීම් සිදුකිරීමට රජය නිරන්තරයෙන් උත්සාහ කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















