ලොව පුරා රටවල් 108ක තරුණ දැරියන් එකතු වී පළමු වරට චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ පුරෝගාමී ව්‍යාපෘතියක් වන ‘ශාක්තිසැට්’ (ShakthiSAT) මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාවේ නිල ශිෂ්‍ය නියෝජිත ලෙස තෝරාගත් සනීසා ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ශාක්තිසැට් තානාපතිනි ආචාර්ය සුලෝචනා සීගේරා යන මහත්මීන්ට ඉන්දියාව වෙත සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය අනුග්‍රහය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු පාසල් රැසක් සමඟ කටයුතු කරමින් තරුණ මනැස් බලගැන්වීම සහ ඉගෙනුම් ගමන් මඟ දිරිමත් කිරීම ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් ප්‍රමුඛතාවක් වී ඇත.
විශේෂිත STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) අධ්‍යාපන වැඩසටහන් හරහා ශ්‍රී ලංකේය පාසල් දැරියන් 200කට අධික පිරිසක්භාගී වූ දැඩි තරගකාරී ජාතික තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව සනීසා ගුණවර්ධන මෙම අවස්ථාව සඳහා තෝරාගෙන ඇත. ලෝකයේ විශාලතම අධ්‍යාපනික චන්ද්‍රිකා සහ රොකට් වැඩසටහනකට නායකත්වය දෙන ‘Space Kidz India’ ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී ආචාර්ය ශ්‍රීමතී කේසන් විසින් මෙම වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.
මෙම මෙහෙයුමේ මීළඟ අදියර 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන අතර, චන්ද්‍රිකාව සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර අභ්‍යවකාශයට යැවීමට නියමිතය. මෙවැනි ජාත්‍යන්තර අවස්ථාවන් හරහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රය තුළ නවමු අත්දැකීම් ලබා ගැනීමට සහ රටේ නාමය ලෝක මට්ටමින් බැබළවීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා සතුට පළ කළේය.
















