ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ (SriLankan Airlines) නිල සේවාවක් ලෙස පෙනී සිටිමින් WhatsApp හරහා සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. වංචාකරුවන් විසින් ව්‍යාජ වෙබ් අඩවි හරහා “Sri Lankan.apk” නමැති ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කිරීමට පරිශීලකයන් පොළඹවන අතර, මෙය පුද්ගල දත්ත සොරාගන්නා අනිෂ්ට බැංකු ට්‍රෝජන් (Banking Trojan) මෘදුකාංගයක් බව හඳුනාගෙන ඇත.
මෙම යෙදුම දුරකථනයට ස්ථාපනය කළ සැණින් එහි දුරස්ථ පාලනය වංචාකරුවන් සතු වන අතර, ඒ හරහා බැංකු ගිණුම් තොරතුරු, රහස් අංක (OTP) සහ ඇඟිලි සලකුණු වැනි සංවේදී දත්ත ලබා ගැනීමට ඔවුන් ක්‍රියා කරයි. අනතුරුව බැංකු යෙදුම් වෙත අනවසරයෙන් පිවිස ගිණුම්වල ඇති මුදල් වෙනත් ගිණුම් වෙත මාරු කරගැනීම මෙම ජාවාරමේ ස්වභාවයයි. එබැවින් මෙවැනි අහඹු පණිවුඩ හෝ යෙදුම් (Apps) සම්බන්ධයෙන් අතිශය සැලකිලිමත් වන ලෙසත්, කිසිවිටකත් නිල නොවන මූලාශ්‍රවලින් ලැබෙන සබැඳි (Links) මඟින් යෙදුම් බාගත නොකරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














