දකුණු ආසියානු කලාපයේ සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක්කෙරෙන 10 වන දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී (SATA 2026) ‘ප්රමුඛ ජාත්යන්තර ගුවන් සේවය’ සඳහා වන කීර්තිමත් අමුත්තන්ගේ තේරීම් සම්මානය දිනාගැනීමට ශ්රීලංකන් ගුවන් සේවය නැවත වරක් සමත්ව තිබේ. මාලදිවයිනේ මාලේ නුවරදී පැවැති මෙම අභිමානවත් සම්මාන රාත්රියේදී අදාළ කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබූ එකම ජාත්යන්තර ගුවන් සේවය බවට පත්වෙමින්, ශ්රීලංකන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපය තුළ සිය ආධිපත්යය සහ විශ්වසනීයත්වය තහවුරු කර ඇත. කලාපීය සංචාරක ක්ෂේත්රයේ රාජ්ය අමාත්යවරුන්, රාජ්ය තාන්ත්රිකයින් සහ ගුවන් සේවා ක්ෂේත්රයේ ජ්යෙෂ්ඨ ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ඇගයීම, ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය ජාත්යන්තර මට්ටමින් ලබා ඇති සේවා විශිෂ්ටතාව සනාථ කරන ප්රබල සාක්ෂියකි.
මෙම ජයග්රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ වාණිජ අංශ ප්රධානී දිමුතු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කලාපීය මගී ප්රජාව වෙනුවෙන් පිරිනමන උසස් සේවාව සහ ශ්රී ලංකාව ගෝලීය සංචාරක සිතියම සමඟ යා කරන මූලෝපායික සබඳතාව අගයමින් මෙම සම්මානය පිරිනමා ඇති බවයි. ඉන්දියාව, පකිස්ථානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය ආවරණය කරමින් දකුණු ආසියාවේ ගමනාන්ත 15 ක් වෙත සතියකට ගුවන් වාර 130 කට ආසන්න ප්රමාණයක් ක්රියාත්මක කරන ශ්රීලංකන් ගුවන් සේවය, කලාපයේ ප්රධානතම ගුවන් ගමනාගමන මධ්යස්ථානයක් ලෙස කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ බලගැන්වීමට සෘජු දායකත්වයක් ලබාදෙයි. මෙවැනි ජාත්යන්තර ඇගයීම් හරහා ගුවන් සේවයේ වෙළෙඳනාම වටිනාකම ඉහළ යන අතරම, ආයෝජක විශ්වාසය තහවුරු කරගැනීමට ද මඟ පෑදේ.
ඉදිරි කාලපරිච්ඡේදය තුළ මෙරට සංචාරක කර්මාන්තය වේගවත් වර්ධනයක් කරා ගමන් කරන වටපිටාවක, දකුණු ආසියානු කලාපීය නෙට්වර්ක් ජාලය තවදුරටත් පුළුල් කරමින් මගී ආකර්ෂණය ඉහළ නංවා ගැනීමට ශ්රීලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇත. මෙම ජාත්යන්තර පිළිගැනීම දේශීය සංචාරක ව්යාපාරයේ ප්රගමනයට මෙන්ම විදේශ විනිමය උපයා ගැනීමේ ජාතික අරමුණට ද විශාල පිටුවහලක් වනු ඇතැයි ගුවන් සේවා හා සංචාරක ක්ෂේත්රයේ ප්රවීණයෝ පෙන්වා දෙති.
















