ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු අවුරුදු 18 න් පහළ ප්‍රමුඛ පෙළ පාසල් රග්බි පාපන්දු තරග මාලාවේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගාවලියේ අනුශූරතාව මහනුවර කිංග්ස්වුඩ් විදුහලට හිමි විය.
සාන්ත පීතර විදුහල සහ කිංග්ස්වුඩ් විදුහල අතර පැවති තීරණාත්මක අවසන් තරගයේදී ලකුණු 17ක් ලබාගත් සාන්ත පීතර ක්‍රීඩකයෝ, ලකුණු 12ක් ලබාගත් කිංග්ස්වුඩ් විදුහල පරාජය කරමින් ලකුණු 05ක ජයග්‍රහණයක් සමඟින් ශූරතාව තහවුරු කර ගත්හ.
මෙවර තරගාවලියේ අනෙකුත් ශූරතා විස්තර ලෙස, කොළඹ ඉසිපතන විදුහල පළඟ ශූරතාව දිනාගත් අතර එහි අනුශූරතාව කොළඹ සහිරා විදුහලට හිමිවිය. බඳුණ ශූරතාව මහනුවර ධර්මරාජ විදුහල විසින් තහවුරු කර ගන්නා ලදී. ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලට එරෙහිව ලකුණු 28 – 00ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළ කොළඹ ලුම්බිණි විදුහල පළිහ ශූරතාව දිනා ගැනීමට සමත් විය.














