ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර ඇති කලම්බෝ මැරතන් තරගය (COLOMBO MARATHON) සැප්තැම්බර් මස 13 දින පෙ.ව. 06:00 ට කොළඹ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.
කිලෝමීටර් 42.195 ක දුර ප්‍රමාණයකින් සමන්විත වන පිරිමි සහ කාන්තා මැරතන් තරගයට සමගාමීව, කිලෝමීටර් 21 ක දුර ප්‍රමාණයකින් සැදුම්ලත් පිරිමි සහ කාන්තා අර්ධ මැරතන් තරගයක්ද ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. මෙම තරග ඉසව් සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වා ඇති දේශීය හා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව, සෞඛ්‍ය තත්ත්වය සහ කායික, මානසික යෝග්‍යතාව නංවාලීම අරමුණු කරගනිමින්, දිවයින පුරා සිටින ඕනෑම අයෙකුට සහභාගී විය හැකි පරිදි කිලෝමීටර් 10 ක සහ කිලෝමීටර් 5 ක දුරකින් යුත් මාර්ග ධාවන තරග දෙකක්ද සංවිධානය කර ඇත. තරගය සඳහා සහභාගී වීමට අපේක්ෂිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2026.09.01 දිනට හෝ මීට පෙර මාර්ගගත ක්‍රමයට (Online) සංවිධායකයන් වෙත අයැදුම්පත් යොමු කළ හැකිය.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් යන මහත්වරුන්ගේ ඍජු මගපෙන්වීම යටතේ මෙම තරගය සංවිධානය කර තිබේ.














