27 April 2024
#දේශීය

අත්හැර දමා ඇති වැවිලි සමාගම්වල ඉඩම් වතු කම්කරු ජනතාවට බෙදාදීමට පියවර ගැනේ – ඇමැති නිමල්

ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති වැවිලි සමාගම්වල ඉඩම් වතු කම්කරු ජනතාවට හෝ ප්‍රදේශයේ තරුණයන්ට බෙදා දීමට පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ,නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකම්කරු ජනතාවගේ අර්ථසාධක හා සේව⁣ නියුක්ති අරමුදල් හා සේවා ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් ලබාදීමේ කම්කරු අමාත්‍යංශයේ ජංගම සේවයට පසුගියදා (18) වනදා එක්වෙමිනි.

මෙම ඉඩම්ලාභීන්ට ඒවායේ පදිංචි විය නොහැකි අතර, එම ඉඩම් කෘෂිකාර්මික හෝ පශුසම්පත් අංශයේ ආර්ථික ඵලදායීතා ව්‍යාපෘති වල යෙදවිය යුතු බව අමාත්‍යවරයා පවසයි.

මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කළමනාකරණය සඳහා වතු සමාගම්වලට පවරා දුන් රජයේ වතුවල මේ වන විට කිසිදු ආර්ථික ක්‍රියාවලියක් සිදු නොවන , කැලෑ වැවී ඇති ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති බවට වාර්තා වී ඇති බවයි.

මෙසේ ප්‍රයෝජනයට නොගන්නා වතුවල ඉඩම් රජයට පවරා ගැනීම සඳහා වූ ඌන උපයෝගිතා පනත මේ වන විට රජය සකස් කර ඇති බවත්,ඒ අනුව මෙම ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් ආර්ථික ඵලදායි ක්‍රියාවලියකට යොමු කිරීමට එම සමාගම්වලට මාස හයක කාලයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

එම මාස හයක කාලය තුළ එකී ඉඩම් ආර්ථික ඵලදායී ක්‍රියාවලියකට යොදවන්න එම සමාගම් සමත් නොවන්නේ නම් නොවන්නේ නම් එම ඉඩම් එම වතු ජනතාවට හෝ ප්‍රදේශයේ තරුණ ජනතාවට හෝ ප්‍රදේශයේ සෙසු ජනතාවට ලබාදී එම ඉඩම් තුළින් ආර්ථික ඵලදායීතාවක් ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.කෘෂිකාර්මික පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා එම ජනතාවට එකී ඉඩම් පාවිච්චි කළ හැකි අතර,එම ඉඩම්වල අයිතිය ඔවුන්ට ලබාදීම සිදු නොකෙරේ.

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා,කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, දම්රෝ සමාගමේ නිලධාරීන් ද මහ බැංකු නිලධාරීන් ද සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *