27 April 2024
#දේශීය

තවමත් සභාපති ජි.එල්… කට්ටිය වෙනස්ව හිතලා වැඩිවුනා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල්

අදටත් තම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් සිටිනුයේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා බවත් තම පක්ෂයේ පාඨය “වෙනස්ව සිතන්න – බිය නොවන්න” යැයි පෙන්වාදුන් බවත් ඇතැම් පිරිස් වෙනස්ව සිතන්න පුරුදු වෙලා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය ආරම්භ කොට සිවුවසරක් පිරීම නිමිත්තෙන් එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගැනීම නිවැරැදි තෝරා ගැනීමක් බවත් පක්ෂ විපක්ෂ සෑම කණ්ඩායමකටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා ඉඩ සලසා දියයුතුයි යන මතයේ සිටි බව පෙන්වාදෙන ඒ මහතා මේ වනවිට එවැනි වාතාවරණයක් රටේ පවතින බවද සියලු පාර්ශව සඳහා නිදහසේ දේශපාලනය කිරීම වෙනුවෙන් අවස්ථාව දියයුතු බවද හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ මුලින්ම දේශපාලනය කරන්න, නිදහසේ අවශ්‍ය කටයුතු කරන්න මේ වනවිට අවස්ථාව සලසා දී තිබෙන බවත් ආර්ථික සහ අනෙකුත් ගැටළු ඉදිරියේ දී විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවත් ය. පක්ෂය බෙදී ගොස් තිබෙන බවට යම් යම් පාර්ශව අතර මතවාද තිබුණ ද කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙදී ගොස් නොමැති බවද සුළු පිරිසක් විවිධ මතයන්හි සිටිය ද ප්‍රධාන වශයෙන් පක්ෂය රටේ ජනතාව සමඟ සිටින බවද කීවේය.

අදටත් තම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් සිටිනුයේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතා බව සදහන් කළ ඒ මහතා තම පක්ෂයේ පාඨය “වෙනස්ව සිතන්න – බිය නොවන්න” යැයි පෙන්වාදුන් හිටපු ඇමැතිවරයා ඒ අනුව ඇතැම් පිරිස් වෙනස්ව සිතන්න පුරුදු වී සිටින බවද සදහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරමාදර්ශී නායකයෙක් බව පෙන්වාදුන් ඒ මහතා එම නායකයාගේ මඟ පෙන්වීම අනුව දේශපාලනය කරන බවද කියාසිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම්, රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී තිලක් තේනුවර මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *