සුඩානයේ ස්වෛරී කවුන්සිලයේ ප්‍රධානී සහ හමුදා අණදෙන නිලධාරී අබ්දෙල් ෆතා අල්-බුර්හාන් (Abdel Fattah al-Burhan), ස්වාධීන ජතික යාන්ත්‍රණයක් යටතේ පැවැත්වෙන සුඩාන සාකච්ඡාවලට සහභාගී වන්නන් සඳහා තාවකාලික මුක්තියක් සහ නීතිමය, දේශපාලනික හා ආරක්ෂක සහතික ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.
සුඩාන සන්නද්ධ හමුදාවේ 72 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. සාකච්ඡාවලට සහභාගී වන අයට එරෙහිව පවතින අපරාධ නඩු විභාග ඔවුන් සාකච්ඡාවල නිරත වන කාලය තුළ තාවකාලිකව අත්හිටුවනු ලබන බවත්, එය කිසිදු සමාව දීමක් නොව නඩු කටයුතුවල තාවකාලික අත්හිටුවීමක් පමණක් වන බවත් හෙතෙම පැහැදිලි කළේය.














