නුගේගොඩ පිහිටි ලංකා සීනි සමාගමේ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, සේවකයන් අසනීප වීම හෝ දිවා ආහාරය සඳහා කෙටි වේලාවකට එය වසා තැබීම පදනම් කරගෙන මෙවැනි මත පතුරුවා ඇති බවත් කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කර තිබේ. දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, එම අලෙවිසැල 2026 වසරේ මුල් මාස හත තුළ ජනවාරි මාසයේදී රුපියල් 162,000ක්, පෙබරවාරි මාසයේදී රුපියල් 386,000ක්, මාර්තු මාසයේදී රුපියල් 750,000ක්, අප්‍රේල් මාසයේදී රුපියල් 187,000ක්, මැයි මාසයේදී රුපියල් 537,000ක්, ජූනි මාසයේදී රුපියල් 354,000ක් සහ ජූලි මාසයේදී රුපියල් 994,000ක මාසික ලාභයක් ලබා ඇතැයි එහි මූල්‍ය දත්ත හෙළි කර ඇත.
දේශීය දුඹුරු සීනි සහ ඒ ආශ්රිත නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මෙය ක්‍රියාත්මක වන බව පෙන්වා දී ඇති ඒ මහතා, සුදු සීනිවලට වඩා දුඹුරු සීනි සෞඛ්‍යයට හිතකර බැවින් ජනතාව ඒ සඳහා යොමු කිරීම රජයේ අරමුණ බවද අවධාරණය කර ඇත. තවද, සීනි සමාගම සතු වගා නොකරන ඉඩම් සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට සහ උක් වගාවේ අතුරු නිෂ්පාදන මගින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමටද ඉදිරියේදී සැලසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.














