නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ ප්‍රතිලාභී ගොවීන් 781 දෙනෙකු සඳහා වන්දි චෙක්පත් බෙදා දීම අද (22) සිදු කෙරිණි.
වසර ගණනාවක් තිස්සේ පොරොන්දුවලට පමණක් සීමා වී තිබූ මෙම වන්දි ගෙවීම සාර්ථක කර ගැනීමට හැකි වූ බව ගොවි ජනතාව සඳහන් කළහ.ලවණ බාධකයේ දෝෂ නිවැරදි කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති අතර, ඉදිරි වසර 50ක කාලය සඳහා ස්ථිර විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙත අධ්‍යයන කටයුතු භාර දී තිබේ.වේලි, ඇලවල් සහ අමුණු අලුත්වැඩියාව සඳහා මිලියන 10ක් සහ කුඹුරු අස්වැද්දීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂ ප්‍රතිපාදන ලෙස තවත් මිලියන 300ක් වෙන් කර ඇත.දිගුකාලීන ස්ථිර විසඳුමක් ලෙස 2012 වසරේ යෝජනා වූ ගිං-නිල්වලා ව්‍යාපෘතියේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කර ඇත.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙම අවස්ථාවට එක් වූහ.
රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් සිදු කර ඇති බවත්, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය සහ සුඛෝපභෝගී නිල නිවාස මෙන්ම ආරක්ෂක රථ පෙළපාලි වැනි මහජන බදු මුදල් නාස්ති කරන ක්‍රියාවන් නතර කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.ශ්‍රී ලංකන් ගුවන් සේවය, බී.සී.සී. ආයතනය වැනි ආයතන විකුණා නොදමා රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති හරහා ශක්තිමත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මාතර දිස්ත්‍රික්කයේ පවතින ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, පසුගිය දින 6 තුළ ස්ථාන 25,656ක් පරීක්ෂා කර ඇති බවත්, ඉන් ස්ථාන 775ක මදුරු කීටයන් හමු වී ඇති බවත් අනාවරණය කළේය. දැනට මරණ 3ක් වාර්තා වී ඇති අතර, නඩු 330ක් පවරා ඇතත්, ජනතාවගේ සහයෝගය සහ උනන්දුව ඉතා අඩු මට්ටමක පැවතීම පිළිබඳ අමාත්‍යවරයා දැඩි කනස්සල්ල පළ කළේය.
















