2008 වසරේ අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ උමාර් හතාප් නමැති විත්තිකරුට අනුරාධපුර මහාධිකරණය විසින් පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. මෙම පෙත්සම විභාග කරනු ලැබුවේ ශිරාන් ගුණරත්න සහ මේනකා විජේසුන්දර යන විනිසුරු මඩුල්ල විසිනි.2008 ඔක්තෝබර් 06 වන දින අනුරාධපුරයේදී එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරන ලද නඩුවේදී, අනුරාධපුර මහාධිකරණය විසින් විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.පසුව එම තීන්දුව අභියෝගයට ලක් කරමින් විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනාධිකරණ ඇපෑලද නිෂ්ප්‍රභ කරමින් මහාධිකරණ තීන්දුව තහවුරු කරන ලදී.තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ විශේෂ අභියාචනය, නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
















