අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී තමන්ට පමුණුවන අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් මාරාන්තික උපවාසයක නිරත වී සිටින හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ, සිය සැමියාගේ ජීවිතය බේරා දෙන ලෙස බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී. අද (07) දින සිය සැමියාව බැලීමට පැමිණි අවස්ථාවේදී ඇය මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වීය.
සුරේෂ් සලේ මහතා නිර්දෝෂී බවත්, ඔහුව මෙම විමර්ශනවලදී ‘පලිගැනීමේ මෙවලමක්’ (Scapegoat) ලෙස භාවිතා කරන බව පෙනී යන බවත් ඇය චෝදනා කරයි. වෛද්‍ය වාර්තාවලින් පවා ඔහුට සිදුකර ඇති අමානුෂික සැලකීම් තහවුරු වී ඇති බව පෙන්වා දෙන ඇය, සැමියාව මාරාන්තික උපවාසය අත්හැරීමට තමා කොතරම් උත්සාහ කළද, ඔහු ඒ සඳහා අකමැති බව පැවසීය.
“එයා කොන්ද කෙලින් තබාගෙන රට වෙනුවෙන් උපරිම සේවයක් කළ මනුස්සයෙක්. එයා ගැන මම ආඩම්බර වෙනවා. නමුත් ඔහුට හානියක් වීමට පෙර, හැකි ඉක්මනින් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස මම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. මගේ සැමියාගේ ජීවිතය බේරා දෙන්න,” යනුවෙන් ඇය හඬා වැටෙමින් සඳහන් කළාය.
තම සැමියා සිටින මානසික තත්ත්වය මත ඔහු විසින්ම තමා රෝහල්ගත කරන ලෙස නොපැවසුවද, බලධාරීන් සතු වගකීමක් ලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
















