බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවේ වෙසෙන සුළුතර ජාතීන්ට එල්ල වන තර්ජන හමුවේ ඔවුන් යුරෝපයෙන් සහන පතා පැමිණියද, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අසාද් පාලනයට සම්බන්ධ යැයි සැලකෙන අලවයිට් (Alawite) වැනි සුළුතර ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් සන්නද්ධ කණ්ඩායම් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් බොහෝ පිරිසක් දිවි බේරා ගැනීමට පලා යමින් සිටිති.
සිරියාවේ ජැබ්ලේ (Jableh) නගරයේ පදිංචිව සිටි 20 හැවිරිදි මොහොමඩ් සහ ඔහුගේ මාමා වන සල්මන් ද මෙලෙස ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණ දේශපාලන රැකවරණ ඉල්ලා සිටි පිරිසකට අයත් වේ. සන්නද්ධ පිරිස් සිය නිවසට කඩා වැදී එල්ල කළ මරණීය තර්ජන හමුවේ ඔවුන් රටින් පලා ආවද, ඔවුන්ට පෞද්ගලිකව තර්ජනයක් නොමැති බව පවසමින් යුරෝපා බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් සති කිහිපයක් ඇතුළත ප්‍රතික්ෂේප කර තිබේ. සිරියාව තවමත් අතිශය අස්ථාවර මට්ටමක පවතින පසුබිමක, මෙලෙස රැකවරණ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම මගින් එම පිරිස් දැඩි අනතුරකට ලක්විය හැකි බව මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.














