පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය තානායම ආසන්නයේ වැව් බැම්ම අසල තිබී T-56 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 1,298ක තොගයක් අද (16) සොයාගෙන තිබේ. පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම උණ්ඩ තොගය හමුවී ඇති බව පොලිසිය තහවුරු කරයි.
ලද බුද්ධි තොරතුරක් මත පරාක්‍රම සමුද්‍රයේ ජලය මඳක් බැස ඇති ප්‍රදේශයක සිදුකළ පරීක්ෂාවකදී මෙම ජීව පතරොම් තොගය හමුවී ඇත. මේවා එම ස්ථානයට රැගෙන ආවේ කවුරුන්ද සහ කවදාද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.
සොයාගත් ජීව උණ්ඩ තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, මේවා කිසියම් අපරාධයකට සම්බන්ධ කර ගැනීමට රැගෙන ආ ඒවාද යන්න පිළිබඳව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.














