තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව වීසා නියාමනයන්ට අනුකූලව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
වීසා කාල සීමාව ඉක්මවා රැඳී සිටීම, නීති විරෝධී රැකියා සහ කලාපීය ආරක්ෂක අවදානම් අවම කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, නිල ආරාධනා, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරු, ව්‍යාපාරික කටයුතු, වෛද්‍ය ප්‍රතිකාර සහ පවුලේ සාමාජිකයින් හමුවීම වැනි විශේෂිත අරමුණු සඳහා වීසා අයදුම්පත් ඉදිරිපත් කිරීමට තවදුරටත් අවස්ථාව හිමිවේ. එලෙස අයදුම්පත් යොමු කරන පුද්ගලයින් චෙන්නායි හෝ සිංගප්පූරුවේ පිහිටි තායිපේ නියෝජිත කාර්යාල හරහා අදාළ කටයුතු සිදු කළ යුතුය.














