ප්‍රේම සම්බන්ධතාවක් මුවාවෙන් මව විදෙස්ගතව සිටින 15 හැවිරිදි පාසල් සිසුවියක් රවටා තලවකැලේ ප්‍රදේශයේ පාළු නිවසක දින දෙකක් රඳවාගෙන අතවර කළ 29 හැවිරිදි විවාහක දෙදරු පියෙකු තලවකැලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කතරගම බලා යමින් සිටියදී බස් රථයක් තුළදී සැකකරු සමඟ ඇති වූ දැන හඳුනාගැනීමක් දුරදිග යාමෙන් අනතුරුව, තලවකැලේ දෙමළ පාසලක 10 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දැරිය මංමුලා කර මෙම අපරාධය සිදු කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරී වී ඇත.
දැරිය නිවසින් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇයගේ පියා විසින් තලවකැලේ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක්, කඩිනම් විමර්ශන මෙහෙයවමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අතවරයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයකින් පසු පරිවාස භාරය යටතේ ඇයගේ නැන්දා කෙනෙකුගේ ආරක්ෂාවට යොමු කර ඇත. ළමා අපචාර සහ මෙවැනි සමාජ අපරාධ සංඛ්‍යාව සමාජය තුළ ඉහළ යමින් පැවතීම, දරුවන්ගේ ආරක්ෂාව සහ දෙමාපියන්ගේ වගකීම පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, තලවකැලේ පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී. කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහිව සිදුවන මෙවැනි අපරාධ සඳහා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සමාජයේ ආරක්ෂාව තහවුරු කිරීමට අත්‍යවශ්‍ය වන අතර, පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ජාලයන් මැඩලීමට පුළුල් සමාජ දැනුවත්කිරීමක දැඩි අවශ්‍යතාවයක් පවතියි.
















