සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බැවින්, වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරීම සඳහා සඟවා තිබූ රජයේ අනුමත මත්පැන් බෝතල් 120ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට තලවකැලේ පොලිසිය සමත්ව තිබේ. තලවකැලේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
තලවකැලේ, හොලිරූඩ් වතුයායේ සැකකරු පදිංචි නිවසට යාබදව පිහිටි වසා දමා තිබූ වතු නිවසක සඟවා තිබියදී මෙම මත්පැන් තොගය සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ හතරහමාරක් (450,000) පමණ වන බව පොලිසිය තක්සේරු කරයි. අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර, මත්පැන් තොගය නඩු භාණ්ඩ ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















