ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය විසින් එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව පරිපාලනය වෙත එරට පවතින ඛනිජ සම්පත් කැණීම් සහ ආයෝජන සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථානය සතුව පවතින ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා ලිතියම්, තඹ සහ දුර්ලභ ඛනිජ අංශයන්හි ආයෝජනය කිරීම සඳහා ඇමෙරිකානු සමාගම්වලට අවස්ථාව ලබා දීමට තලේබාන් පාලනය මෙලෙස සූදානම් වන බව සඳහන් වේ. චීනය ඇතුළු අනෙකුත් බලවත් රටවල් ඇෆ්ගන් ඛනිජ ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කර ඇති පසුබිමක, ඇමෙරිකාව සමඟ සෘජු රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතා ගොඩනගා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම යෝජනාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති අතර, මෙමගින් කලාපීය භූ-දේශපාලනික සහ ආර්ථික රටාවන්හි තීරණාත්මක වෙනස්කම් සිදුවිය හැකි බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.
















