27 April 2024
#දේශීය

තඹුත්තේගම මාරක අනතුර සිව් දෙනෙකු ජිවතක්ෂයට

මක්කම වන්දනාවේ යෑම සඳහා ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගෙන එමින් සිටි පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අනුරාධපුර, පාදෙනිය ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තඹුත්තේගම පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහටගස්දිගිලිය කිරලාගල පාරේ පදිංචි මුස්ලිම් ජාතිකයින් පිරිසකි. ඔවුන් ගමන් ගත් කුඩා වෑන් රථය, මාර්ගය අයිනේ නැවතීමට උත්සහ කළ කන්ටේනර් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.මෙම පිරිස මක්කම වන්දනාවේ යෑම සඳහා ගුවන් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට ඔවුන් පදිංචි කහටගස්දිගිලියේ සිට ඊයේ (03) කොළඹට ගොස් නැවත කහටගස්දිගිලයට එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. මෙම අනතුර අද (04) අලුයම 12.10 ට පමණ සිදුව ඇතැයි තඹුත්තේගම ප‌ොලීසිය පවසයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කුඩා වෑන් රථයේ රියදුරු වූ කහටගස්දිගිලිය කිරලාගල පාරේ පදිංචි මුවුලානා සෙයියසු අහමඩ් අසෙයිදු අබ්දුල්කාන් (46) හා මෝටර් රථයේ ගමන් කළ ජේනු අබ්දීන් වාෆා (36), සයිදු අහමද් මවුලාන් අබ්දීන් (43) අබ්දුල් රහුමාන් මොහොමඩ් නසීර් (36 )යන අයයි.අනතුරට පත් කුඩා වෑන් රථයට දැඩි අලාභ හානී සිදුව තිබූ අතර, කන්ටේනර් ලොරි රථයට සුළු අලාභ හානී සිදුව තිබිණි.

අද (04) අලුයම 12.10 ට පමන අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී කන්ටේනර් ලොරි රථයක් රාත්‍රී ‌ෙආපන ශාලාවක් අසල නැවැත්වීමට යාමේදී පසුපසින් පැමිණි කුඩා වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබිණි.අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 08 දෙනෙකු ගමන් කර ඇති අතර, ඒ අතර සිටි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.එම අනතුරින් අඹුසැමි යුවලක්, ඔවුන්ගේ නැගනියක්, හා රියදුරු වශයෙන් ගමන් කළ තවත් එම පවුලේම සහෝදරයකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.ඒ අනුව පිරිමි පුද්ගලයින් දෙදෙනකු හා කාන්තාවන් දෙදෙනකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් 55 හැවිරිදි පිරිමි පුද්ගලයකු, 11 හැවිරිදි හා 6 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනකු මෙන්ම 8 හැවිරිදි ගැහැණු දරුවකුද තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් කඩිනමින්තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.ඉන් 55 හැවිරිදි පිරීමි පුද්ගලයා හා 06 හැවිරිදි පිරිමි දරුවා බරපතල තත්වයේ පත්වීම හේතුවෙන් අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර, 11 හැවිරිදි පිරිමි දරුවා හා 08 හැවිරිදි ගැහැණු දරුවා තඹුත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබයි.

ජීවිතක්ෂයට පත් සිව් දෙනාගේ මෘත දේහයන් තඹුත්තේගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම අනතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (04) තඹුත්ත‌ේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාගේ උපදෙස් මත තඹුත්තේගම පොලිස් ස්ථාන රථ වාහන අංශය මගින් පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *