තඹුත්තේගම ප්‍රදේශයේ ජනතාවට සුරක්ෂිත සහ පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කළ තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය අද (10) උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
අංගමුව ජලාශය ජල මූලාශ්‍රය ලෙස යොදාගනිමින් ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය වේ. මෙහි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 91,810ක් වන අතර, නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීම තුළින් ප්‍රදේශවාසීන්ට ගුණාත්මක පානීය ජලය ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත.
මෙම අවස්ථාවට සමගාමීව, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ජල සම්පාදන පරිශ්‍රයේදී ආරම්භ විය. පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය සහ කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ආධාර යටතේ මෙය ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය මගින් 2034 වසර වන විට පුද්ගලයින් 170,951 දෙනෙකුට ආරක්ෂිත පානීය ජලය සැපයීම සහ නිවාස 50,000ක් සඳහා නව ජල සම්බන්ධතා ලබාදීම අපේක්ෂිත ඉලක්කයයි. එසේම, ඉහළ ෆ්ලෝරයිඩ් අන්තර්ගත භූගත ජලය භාවිතය අවම කිරීම මගින් නිදන්ගත වකුගඩු රෝගය වැනි සෞඛ්‍ය ගැටලු පාලනය කිරීමටත්, ග්‍රාම නිලධාරී වසම් 119ක් ආවරණය වන පරිදි ජල සම්පාදන ජාලය පුළුල් කිරීමටත් මෙම ව්‍යාපෘතිය හරහා පියවර ගැනේ.
මෙම ජාතික ව්‍යාපෘති මගින් උතුරු මැද පළාතේ ජනතාව වසර ගණනාවක් මුහුණ දුන් පානීය ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
















