දමිළ ජනතාවට තවදුරටත් දෙවන පුරවැසියන් ලෙස හැඟී යාමට ඉඩ නොතබන බවත්, උතුරේ ජනතාව තුළ රජය කෙරෙහි විශ්වාසය ගොඩනැඟීමට උපරිමයෙන් කැපවන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සිවිල් සහ මහජන නියෝජිත හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, පරාජිත දේශපාලන යාන්ත්‍රණයන් නිසා අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) කෙරෙහි ජනතාව තුළ තිබූ වේදනාකාරී අවිශ්වාසය තුරන් කර, වත්මන් රජය වසරක් ඇතුළත ඊට අවශ්‍ය ප්‍රතිපාදන හා බඳවා ගැනීම් ලබා දෙමින් විමර්ශන කටයුතු කඩිනම් කර ඇති බවයි. යුද්ධය නිමවී වසර ගණනාවක් ගතවුවද පසුගිය රජයන්ට මේවා විසඳීමට දේශපාලනික අවශ්‍යතාවක් නොතිබූ බව පෙන්වා දුන් ඒ මහතා, උතුරේ ඉඩම් නිදහස් කිරීම සහ මාර්ග විවෘත කිරීම මේ වන විටත් විධිමත්ව සිදුවන බව ප්‍රකාශ කළේය. එසේම, දේශපාලන මර්දනයන් සඳහා භාවිත වූ වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මුළුමනින්ම අහෝසි කර, සැබෑ ලෙසම ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පමණක් ක්‍රියාත්මක වන නව ජනතාවාදී පනතක් ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.
















