කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩීප්ෆේක් තාක්ෂණය හරහා සිදුවන අනවසර භාවිතයන්ගෙන් තම කටහඬ, රූපය සහ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා සුප්‍රකට ගායිකා ටේලර් ස්විෆ්ට් නෛතික පියවර ගෙන තිබේ. ඇයගේ TAS Rights Management සමාගම විසින් මේ සඳහා වෙළඳ ලකුණු (trademark) අයදුම්පත් තුනක් එක්සත් ජනපද පේටන්ට් සහ වෙළඳ ලකුණු කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.
ශ්‍රව්‍ය ලකුණු (Sound Marks): “Hey, it’s Taylor Swift” සහ “Hey, it’s Taylor” යනුවෙන් ඇය පවසන ශ්‍රව්‍ය කොටස් දෙකක් ලියාපදිංචියට යොමු කර ඇත. මින් ඇයගේ කටහඬේ ස්වභාවය සහ අනන්‍යතාවය සුරක්ෂිත කිරීමට අපේක්ෂා කෙරේ.
දෘශ්‍ය ලකුණ (Visual Likeness Mark): ඇයගේ ‘Eras Tour’ ප්‍රසංගයේදී භාවිත කළ නිශ්චිත වේදිකා දර්ශනයක් දෘශ්‍ය ලකුණක් ලෙස ඉදිරිපත් කර තිබේ. එහි රිදී පැහැති සැරසිලි සහිත වර්ණවත් ඇඳුමකින් සහ බූට් සපත්තු යුගලයකින් සැරසී, කළු පටියක් සහිත රෝස පැහැති ගිටාරය වාදනය කරන රූපය ඇතුළත් වේ.
සාමාන්‍ය ප්‍රකාශන හිමිකම් නීති මඟින් පටිගත කිරීම් ආරක්ෂා කළද, AI මඟින් සිදුකරන අනුකරණයන් ඒ යටතේ ආවරණය නොවීම මෙයට ප්‍රධාන හේතුවයි.
2024 වසරේදී ඇයගේ නමින් සංසරණය වූ ව්‍යාජ අසභ්‍ය ඩීප්ෆේක් වීඩියෝ සහ ව්‍යාජ දේශපාලන ප්‍රචාරණ වීඩියෝ හේතුවෙන් ඇය මෙවැනි තාක්ෂණික අපයෝජනයන්හි ගොදුරක් බවට පත්ව සිටියාය.
මෙම පියවර හරහා වාණිජමය කටයුතු සඳහා AI අයුතු ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නඩු පැවරීම සහ වන්දි ලබාගැනීම වඩාත් පහසු කරවයි.
මෙවැනි පියවර මින් පෙර මැතිව් මැකෝනාහේ සහ අරිජිත් සිං වැනි කලාකරුවන් විසින් ද ගනු ලැබ ඇති අතර, මෙය OpenAI වැනි තාක්ෂණික සමාගම් බලපත්‍ර ගිවිසුම් කරා යොමු කිරීමට ද බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්වාස කෙරේ.














