අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වැඩි කිරීමට හෝ දිගුකාලීන ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබා දීමට රජය මෙතෙක් කිසිදු පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බව පවසමින්, ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති ඉදිරි ඔක්තෝබර් මස විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වේ.
‘ද ඩේලි මෝනිං’ (The Daily Morning) පුවත්පත වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට වත්මන් රජය සූදානම් වන බවට කිසිදු ඇඟවීමක් කර නොමැති බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ වැුප් විෂමතාවෙන් තුනෙන් එකක් අවසන් වරට විසඳූ බවත්, ඉන් පසු කිසිදු ප්‍රගතියක් සිදු නොවූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ඉදිරි අය-වැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කෙරෙන මුදල කුමක්ද යන්න පිළිබඳවද සමිති අවධානයෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් ‘ද ඩේලි මෝනිං’ කළ විමසීමකදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ ප්‍රතිපාදන වෙන් කරනු ලබන ආකාරය පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් නොමැති බවත්, මහා භාණ්ඩාගාරය සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත්ය. කෙසේ වෙතත්, ප්‍රතිපාදන කිසිදු අඩු කිරීමකට ලක් නොවන බවට ඔහු සහතික විය.














