මෙම මාසයේ ගුරුවරුන්ට නියමිත පරිදි වැටුප් නොලැබෙන බවට පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් නඟන ලද චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය තරයේ ප්‍රකාශ කර සිටින්නීය. ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් හෝ බාධාවක් මතුවී නැති බව අවධාරණය කළ ඇය, කිසිදු පදනමකින් තොරව මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනවශ්‍ය නොසන්සුන්තාවන් නිර්මාණය වීමට ඉඩ ඇති බවට පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නාය.
මේ අතර, පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමේ පවතින යාන්ත්‍රණය දීර්ඝ කාලයක සිට ක්‍රමානුකූලව සිදු වී නොමැති බව පිළිගත් අග්‍රාමාත්‍යවරිය, ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර අදාළ චක්‍රලේඛ සහ ක්‍රමවේදයන් පුළුල් සමාලෝචනයකට ලක් කිරීමට රජය අපේක්ෂා කරන බව සඳහන් කළාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මානව සම්පත් කළමනාකරණ කුළුණ යටතේ ක්‍රියාත්මක වන මෙම සංස්කරණ හරහා, හුදෙක් ශාස්ත්‍රීය සුදුසුකම් පමණක් නොව කාර්ය සාධනයට අදාළ අනෙකුත් නිර්ණායකයන් ද සැලකිල්ලට ගනිමින් විදුහල්පති තෝරා ගැනීමේ විධිමත් ක්‍රමයක් සකස් කිරීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් දැනටමත් විදුහල්පතිවරුන්ගේ ධාරිතාව ඉහළ නැංවීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, 2027 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනය හරහා වඩාත් ශක්තිමත් සහ ව්‍යුහගත සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දීමට කටයුතු යොදමින් පවතී. රජය විසින් ක්‍රියාවට නංවමින් පවතින මෙම පරිපාලනමය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මඟින් මෙරට පාසල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නංවාලීමටත්, ගුරු-විදුහල්පති සේවාවන්හි වෘත්තීය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙේ.
















