ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් සහ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන ආයතන එක්ව සිදුකළ මහා පරිමාණ ඒකාබද්ධ මෙහෙයුමකින් අග්නිදිග ආසියාව පුරා ක්‍රියාත්මක වූ අපරාධ ජාවාරම් ජාල රැසක් බිඳ දැමීමට සමත් වී තිබේ. මෙම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාවාරම්වලට සම්බන්ධ මාර්ගගත ගිණුම් මිලියන 1.4කට අධික ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම මෙහෙයුම සඳහා Meta, Microsoft, Coinbase සහ Starlink වැනි තාක්ෂණික සමාගම් මෙන්ම ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව, FBI, ඇමෙරිකානු රහස් ඔත්තු සේවය, රාජකීය තායි පොලිසිය සහ එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ද එක්ව තිබේ. Meta සමාගම පවසන පරිදි, මෙම මෙහෙයුම ප්‍රේම සබඳතා මුවාවෙන් සිදුකරන වංචා, ආයෝජන වංචා සහ බලහත්කාරයෙන් වැඩ ගැනීමේ ජාලවලට සම්බන්ධ අපරාධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක විය.
මෙම ක්‍රියාන්විතයේ කොටසක් ලෙස Meta ආයතනය වංචනික ක්‍රියාවලට සම්බන්ධ වූ Facebook සහ Instagram ගිණුම්, පිටු සහ සමූහ මිලියන 1.4කට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, Microsoft ආයතනය විසින් වංචනික ගිණුම් 20,000ක් පමණ අත්හිටුවා තිබේ. මීට අමතරව, Coinbase ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව අපරාධ ජාලවලට සම්බන්ධ ඇමෙරිකානු ඩොලර් මිලියන 3කට අධික වටිනාකමකින් යුත් ඩිජිටල් වත්කම් තහනම් කර ඇති අතර, Starlink විසින් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා භාවිත කළ බවට සැකකෙරෙන අන්තර්ජාල පර්යන්ත දහස් ගණනක සම්බන්ධතා අක්‍රිය කර ඇත.
මෙම බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ වැඩසටහන මඟින් නව වංචා මධ්‍යස්ථාන පිහිටි ස්ථාන සහ අපරාධ ජාල හඳුනා ගැනීමට හැකි වූ අතර, ඒ පිළිබඳ වැඩිදුර නීතිමය පියවර ගැනීම සඳහා අදාළ බලධාරීන් වෙත යොමු කර තිබේ. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ‘Scam Center Strike Force’ මඟින් සම්බන්ධීකරණය වූ මෙම මෙහෙයුම සති ගණනාවක් පුරා වොෂින්ටන් නුවරදී පැවති බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විය. තාක්ෂණික සමාගම් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර පවතින මෙම සහයෝගීතාව සංකීර්ණ ජාත්‍යන්තර වංචා ජාල මැඩලීම සඳහා ඉතා වැදගත් වන බව Meta පවසයි. රාජකීය තායි පොලිසිය සඳහන් කළේ, මෙවැනි රටවල් කිහිපයක් පුරා ක්‍රියාත්මක වන ඔන්ලයින් වංචා ජාල මැඩලීමට ජාත්‍යන්තර සහයෝගීතාව අත්‍යවශ්‍ය බවයි.
















