රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පැවති 78 වන පොසොන් පෙරහැර සඳහා රැගෙන විත් සිටියදී කුලප්පු වී, ප්‍රධාන ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා පාගා මරා දැමූ ඇඹිලිපිටියේ විහාරස්ථානයකට අයත් අලියාව වනජීවී නිලධාරීන් විසින් අද (22) දහවල් නිර්වින්දනය කර අල්ලාගෙන තිබේ.
අද (22) උදෑසන රක්වාන ගඟෙන් අලියාට ජලය ලබා දීමට ගිය අවස්ථාවේදී සත්වයා එකවරම කුලප්පු වී මෙම අවාසනාවන්ත ප්‍රහාරය එල්ල කර තිබුණි. ප්‍රහාරයෙන් පසු අලියා විහාරස්ථානය අසල පිහිටි කුඹුරු යායකට පැන ගොස් රැඳී සිටියේය.
කුලප්පු වූ අලියාව මෙල්ල කර ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී. එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස සත්වයාට නිර්වින්දන ඖෂධ ලබා දී ආරක්ෂිතව අල්ලා ගැනීමට නිලධාරීන්ට හැකි විය.
















