දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත සහ කසාගල පිවිසුම් අතර 154 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී ඊයේ (10) උදෑසන සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයන් දස දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පොලිසිය පවසන පරිදි අනතුර සිදුව ඇත්තේ උදෑසන 08.00ට පමණය. බෙලිඅත්ත දෙස සිට මත්තල දෙසට ධාවනය වූ ලොරි රථයක පිටුපසින් වේගයෙන් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
අනතුරට පත් වෑන් රථයේ පානදුර ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් ගමන් කර ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ සියලු දෙනා කඩිනමින් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, වෑන් රථ රියැදුරුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ. වෑන් රථයේ ගැටුණු ලොරි රථය අනතුරත් සමඟ අධිවේගී මාර්ගයේ පෙරළී ගොස් ඇත.
භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුළු වී හම්බන්තොට දෙසට යමින් තිබූ එකකි. වෑන් රථ රියැදුරු බරපතළ තුවාල ලබා සිහිසුන්ව සිටින බැවින් ඔහුගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල සහ බෙලිඅත්ත පිවිසුම්වල රාජකාරි කරන රථවාහන අංශයේ නිලධාර්හු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.














